වනාන්තර විනාශය සහ තිරසර සංවර්ධනය

 වනාන්තර විනාශය සහ තිරසර සංවර්ධනය

වන විනාශය හෙවත් වනාන්තර විනාශය යනුවෙන් අදහස් කරනුයේ කෘෂිකර්මාන්තය (බෝග වගාව සහ සත්ව පාලනය) නාගරීකරණය සහ කැනීම් කටයුතු, ලැව්ගිනි, දැව කැපීම ආදී ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම හේතුවෙන් ලොව පුරා පවත්නා වනාන්තර බිම් ප්‍රදේශ කාලයත් සමඟ වෙනස්වීම හෙවත් අඩුවී යාමයි.1960 දශකයේ සිට ලොව පුරා මානුෂික මානුෂික ක්‍රියාකාරකම් වල සීග්‍ර වර්ධනය හේතුවෙන් වන විනාශය ලොව ස්වභාවික පරිසර පද්ධති , ජෛව විවිධත්වය සහ දේශගුණය කෙරෙහි අහිතකරව බලපා ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය වාර්තා කරන ආකාරයට වන විනාශයේ ප්‍රමාණය වසරකට වර්ග කිලෝමීටර් මිලියන පහක් පමණ වේ. 




ලෝකයේ වනාන්තර විනාශය

වනාන්තර යනු පරිසර පද්ධතියකි. වන විනාශය කෙරෙහි බලපාන හේතු පිළිබඳ විමසා බැලීමේදී මෙම හේතු ස්වභාවික සාධක සහ මානුෂ සාධක යනුවෙන් ප්‍රධාන වර්ග දෙකකි. ස්වභාවික සාධක අතරින් ප්‍රධාන වනුයේ ස්වභාවික ලැව්ගිනි, පරපෝෂිත රෝග ආදියයි.එසේ වුව ද ගෝලීය වන විනාශය කෙරෙහි බලපාන ප්‍රධාන හේතුව වන්නේ මානුෂික ක්‍රියාකාරකම් ය.එවැනි මානුෂීය ක්‍රියාකාරකම් කිහිපයක් ලෙස,

 කෘෂිකර්මාන්තය සඳහා වන වනාන්තර එළි එළිපෙහෙළි කිරීම

 සත්ව පාලනය

නව ඉදිකිරීම් නිසා සිදුවන විනාශය

නාගරීකරණය හේතුවෙන් සිදු සිදුවන වන විනාශය

දැව කැපීම

ජනාවාසකරණය

ආදී සාධක පෙන්වා දිය හැකිය.

1.කෘෂිකර්මාන්තය සඳහා සිදුවන වන විනාශය 

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය වාර්තා කරන අන්දමට ලෝක වනාන්තර විනාශයෙන් 80% සිදුවන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා ය. එකී වාර්තාව තවදුරටත් සඳහන් කරන්නේ කෘෂිකර්මාන්තය නිසා සිදුවන වන විනාශයෙන් 33% ක් සිදු වනුයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල දේශීය ප්‍රජාව විසින් සිදු කරන ග්‍රාමීය ගොවිතැන හෙවත් පාරිභෝගික කෘෂිකර්මාන්තය හේතුවෙනි.

වනාන්තර වලින් 40% පමණ ව්‍යාපාරික කෘෂිකර්මාන්තය හෙවත් කාර්මික කෘෂිකර්මාන්තය (ක්ෂේත්‍ර බෝග වගාව සහ සත්ත්ව පාලනය) මගින් විනාශ වන බව වාර්තා වේ.එය සිදු වනුයේ ආහාර කෙඳි හෝ ජෛව ඉන්ධන (එනම් සෝයා බෝංචි, පාම් තෙල්, සහල්, ඉරිඟු, කජු සහ උක් වැනි) සහ ගව මස් නිෂ්පාදනය සඳහාය.ගෝලීය වන විනාශයන් 14% ක් පමණ සිදුවනුයේ සත්ව පාලනය හේතුවෙන් බවද ප්‍රකාශ කළ යුතුය. සත්ව පාලනය සඳහා විශාල බිම් ප්‍රදේශයක් අවශ්‍ය වන්නේ සතුන් ඇති කිරීමට සහ සත්ව ආහාර ලෙස සෝයා වැනි බෝග වගා කිරීම සඳහාය.


2.ඉදිකිරීම් කටයුතු නිසා සිදුවන වන විනාශය.

වන විනාශය කෙරෙහි හේතු සාධක වන තවත් මානුෂ ක්‍රියාකාරකමක් වන්නේ විවිධ යටිතල පහසුකම් ඉදිකිරීමේ කටයුතු ය.මේ නිසා සිදුවන වන විනාශය 15% ක් පමණ වේ යැයි ගණන් බලා ඇත. වර්තමාන ජනතාවගේ ජීවන රටාව කෙරෙහි මූලිකවම අත්‍යවශ්‍ය වන යටිතල පහසුකම් වනුයේ පරිවහනය හෙවත් ගමනාගමනය, ශක්තිය උත්පාදනය, සන්නිවේදනය සහ නිවාස පද්ධති යනාදිය යි.ඊට අමතරව මහා මාර්ග, දුම්රිය මාර්ග, වරාය සහ ගුවන් තොටුපල ආදී ඉදිකිරීම් කටයුතු සිදු සිදු කිරීමේදී ද සීග්‍ර වශයෙන් වන විනාශය සිදු වේ.

3.නාගරීකරණය නිසා සිදුවන වනාන්තර විනාශය.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයට අනුව ලොව ග්‍රාමීය ජනතාව ග්‍රාමීය ප්‍රදේශවල සිට නාගරික ප්‍රදේශවලට සංක්‍රමණය වීම හේතුවෙන් 5% ක වන විනාශයක් සිදුවේ. මෙම නාගරික සංක්‍රමණ හේතුවෙන් 2050 වර්ෂය වනවිට ලෝක ජන සංඛ්‍යාවෙන් 68% ක් නගරවල ජීවත් වනු ඇති බව එම සංවිධානය අපේක්ෂා කරයි. එමෙන්ම අවශ්‍ය නිවාස සංඛ්‍යාව ද එයට සමානව වැඩිවෙනු ඇත. නගර විසින් වැඩි ජන සංඛ්‍යාවක් රඳවා ගැනීමට දරන උත්සාහයේ අයහපත් ප්‍රතිපලය වන්නේ නගර ඒවා වටා පිහිටි ස්වභාවික මායිම් අභිබවා යාම සහ වන විනාශය සිදු වීමයි.

මානුශ ක්‍රියාකාරකම් නිසා වනාන්තර විනාශය වේගවත් වී ඇති ආකාරය ඉහත පරිදි හඳුනාගත හැක.

වන විනාශයේ අහිතකර ප්‍රතිපල

19 වන සියවසේ මැද භාගයේ පටන් පෙර නොවූ විරූ පරිදි වනාන්තර විනාශ කිරීමේ අහිතකර ප්‍රතිඵල පෘථිවිවාසීන්ට අත්විඳීමට සිදුවිය. අම්ල වැසි නිසාවෙන් යුරෝපයේ වනාන්තර රැසක් විනාශ වී ඇත. පසුගිය දශක දෙකේදී පමණක් ඇෆ්ගනිස්ථානය සතුව පැවති සමස්ත වනාන්තර ප්‍රමාණයෙන් 70% වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇත.කෙසේ වෙතත් ලෝකයේ නිවර්තන වැසි වනාන්තර විනාශ කිරීමද මේ වනවිට වේගවත් වී තිබේ. මෙම මහා පරිමානයේ වන විනාශය එම වනාන්තරවල ජෛව විවිධත්වය කෙරෙහි ද දැඩි ලෙස බලපා තිබේ.වනාන්තර විනාශය මේ වන විටත් සීිග්‍ර ලෙස සිදු කෙරෙන කලාපයක් ලෙස ලෝකයේ ජෛව විවිධත්වයෙන් දෙවැනි තැන ගෙන ඇති දකුණු ආසියාව පෙන්වා දිය හැකිය.

 වන විනාශය මගින් ස්වභාවික පරිසර පද්ධති වලට විවිධ ආකාරයේ බලපෑම් ඇතිකරන අතර පෘථිවියෙහි පැවැත්මට දරුණු ප්‍රශ්න ඇති කරයි. වන විනාශය ඇසුරින් සිදුවන වඩාත් ප්‍රචලිත බලපෑම වනුයේ ජෛව විවිධත්වයට ඇති කරන තර්ජනය යි.  වනාන්තර යනු ජෛව විවිධත්වය සැබෑවටම නිරූපණය කරන්නකි. වනාන්තර සිව්පාවන්ගේ සිට පක්ෂීන්, කෘමින්, උභය ජීවීන් සහ ශාක ඇතුළු බොහෝ සත්ව විශේෂයන්හි වාසභූමියයි. 

වනාන්තර ලෝකයේ බිලියන 6.1% ක ජනතාවගේ ජීවන පැවැත්ම කෙරෙහි බලපායි. මේ අතරින් මිලියන 1 ක් ලොව සිටින දුප්පත්ම ජන කොටසට අයත් වේ. මෙයින් පැහැදිලි වන්නේ ලොව සිටින ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වනාන්තර මත යැපෙන බවත් ඔවුන්ගේ යැපීම සඳහා දඩයම සහ වනාන්තර ද්‍රව්‍ය රැස් කිරීම, සරල කෘෂිකර්මාන්තයට අමතරව සිදු කරන බවත්ය. එසේ වුවද බෝර්නියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, බ්‍රසීලය, මෙක්සිකෝව වැනි රටවල ඉඩම් භුක්ති ක්‍රම ඉතා දුර්වලය. මෙහි අයහපත් ප්‍රතිඵලය වන්නේ විශාල ව්‍යාපාරිකයන්ට එම ඉඩම් වෙනත් අවශ්‍යතා සඳහා ලබා ගත හැකිවීම නිසා දේශීය ප්‍රජාවගේ ජීවන රටාව අවුල් සහගත වීමයි. 

වන විනාශය ලෝකයේ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ද දැඩි බලපෑම් එල්ල කරනු ලබයි. වර්තමානයේ ආහාර නිෂ්පාදනය සඳහා යොදාගන්නා මුළු බිම් ප්‍රමාණයෙන් 52% ක් මද වශයෙන් හෝ දරුණු ලෙස පාංශු ඛාදනයට ලක් වූ භූමි වේ.මේ අයුරින් වන විනාශය දිගටම සිදු වුවහොත් පසෙහි පෝෂ්‍ය පදාර්ථ අඩුවීම හේතුවෙන් අස්වැන්න අඩුවී ආහාර සුරක්ෂිතතාවය අඩුවිය හැකිය.වන විනාශය පස දුර්වල කරමින් හායනයට ලක් කරයි. මේ හේතුවෙන් වන විනාශය ඇසුරින් සිදුවනුයේ පස කඩතොළු වී ලිහිල් වීමත් ප්‍රදේශය නායයාම් සහ ගංවතුර වැනි ආපදාවන්ට ගොදුරු වීමත් ය. 

වනාන්තර විනාශ කිරීමේ තවත් අහිතකර බලපෑමක් වන්නේ එය දේශගුණ වෙනස්වීමට බලපාන හේතුවක් වීමයි. වන විනාශය දේශගුණික වෙනස්කම් වලට ඉතා සෘජුව සහ සක්‍රීය ලෙස දායක වේ. ගස් වැල් තම ජීවිත කාලය පුරාවටම කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කොට තබා ගනී.ස්වභාවධර්මය සඳහා වන ලෝක වනසත්ව අරමුදල වාර්තා කරනව ආකාරයට නිවර්තන වනාන්තර විසින් කාබන්  ගිගාටොන් 210 කට වැඩි ප්‍රමාණයක් රඳවා ගනී. මෙවැනි වටිනාකම් සහිත වනාන්තර විනාශයට ලක් කිරීමෙන් අයහපත් ප්‍රතිඵල දෙකක් ඇතිවිය හැකිය.එයින් පළමුවැන්න වන්නේ වන විනාශය සමඟ ශාක එලෙස ගබඩා කරගත් කාබන් නැවතත් වායුගෝලයට මුදා හැරීම යි. දෙවැන්න වන්නේ සුළු ගස් ප්‍රමාණයක් ඉතිරි වීම යනු ගබඩා කරගත හැකි කාබන් ප්‍රමාණය අඩුවීමයි. 

විවිධ වර්ගයේ වනාන්තර පවත්නා ලොව වන විනාශය වඩාත්ම සිදුවන ප්‍රදේශයේ ලෙස නිවර්තන කලාපය දැක්විය හැකිය . ලොව සමහර ප්‍රදේශ වලට වන විනාශය පාලනය කර ගත හැකිව තිබුනද බොහෝ ප්‍රදේශයන්හි වනවැස්ම සීග්‍රයෙන් අඩුවෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය වාර්තා කරන ආකාරයට නිවර්තන ප්‍රදේශයන්හි 1990 වර්ෂයේ සිට මේ දක්වා හෙක්ටයාර් මිලියන හයක වනාන්තර බිම් ප්‍රමාණයක් කෘෂිකර්මාන්තය සඳහා යොදාගෙන ඇත. කෙසේ වුවද ලොව වන විනාශය සම්බන්ධයෙන් වඩාත් වැදගත් ප්‍රදේශ තුනක් ලෙස සැලකෙන්නේ ඇමසන් වනාන්තරය, ඉන්දුනීසියාව, බෝර්නියෝ දූපත් සහ අප්‍රිකාවයි.

ඇමසන් වනාන්තරය ලොව විශාලතම වනාන්තර අතරින් එකක් ලෙස සැලකේ. එහි විශාල ජෛව විවිධත්ව සංචිතයක් පවතී. කාබන් ගබඩා කර ගැනීමේ හැකියාව සහ ඔක්සිජන් නිර්මාණය කිරීමේ හැකියාව හේතුවෙන් එය පෘථිවියේ පෙණහලු ලෙස සැලකේ. 1960 වර්ෂයේ සිට ඇමසන් වනාන්තරය දැඩි තර්ජනයකට මුහුණ දී සිටී.එහි වනාන්තර වර්ග කිලෝමීටර් 760 000 හෙවත් මුල් වනාන්තර වැස්මෙන් 20% ක් මෙම කාලය තුළදී අහිමිවී ඇත. 1990 ට පෙර ඇමසන් කලාපයේ වන විනාශයට ප්‍රධාන හේතුව වූයේ වේලි සහ මාර්ග ඉදිකිරීම, කැණීම් සහ පාරිභෝගික කෘෂිකර්මයයි.බොහෝ වාර්තා සඳහන් කරන ආකාරයට ගව මස් නිෂ්පාදනය සඳහා සත්ත්ව ගොවිපළවල් ඇති කිරීම සහ සතුන්ගේ ආහාර සඳහා සෝයාබෝංචි වගා කිරීම ඇමසන් වනාන්තරයේ 70% ත් 80% ත් අතර ප්‍රමාණයක් විනාශ වීමට ප්‍රධාන හේතුව බවට පත් වී ඇත.

ඉන්දුනීසියාව, බෝර්නියෝ දූපත් යන රාජ්‍යයන් පිහිටි ගිනිකොනදිග ආසියාව ලොව සාරවත්ම වනාන්තර සහ ජෛව විවිධත්ව සංචිතයක් සහිත ප්‍රදේශ අතරින් එකකි. නමුත් මෑත දශකවලදී ලොව වඩාත්ම වන විනාශය සිදුවන ප්‍රදේශ අතරින් එකක් ද වේ. ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය වාර්තා කරන ආකාරයට 1990-2012 ත් අතර කාලය තුලදී පමණක්ඉ න්දුනීසියාවේ වනාන්තර හෙක්ටයාර මිලියන නවයක් විනාශයට ලක්වී ඇත.මෙම විනාශයට ප්‍රධාන හේතුව බවට පත් වී ඇත්තේ පාම් තෙල් බෝග වගා කිරීම යි. ඒ අනුව ගිණිකොනදිග ආසියාවේ වන විනාශයට ප්‍රධාන හේතුවක් බවට පත්වී ඇත්තේ පාම් තෙල් වගාවයි. 

වන විනාශය හේතුවෙන් සැලකිය යුතු පීඩා විඳින තවත් ප්‍රදේශයක් වන්නේ අප්‍රිකාවයි.එහි සිදුවන වන විනාශය ආසියාවේ වන විනාශය ද ඉක්මවා යයි. අප්‍රිකාවේ වසරකදී හෙක්ටයාර මිලියන 2 පමණ වන විනාශයක් සිදුවේ.අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජීරියාවේ වනාන්තරවලින් 90% ක් පමණ යටත් විජිත සමයේ සිට මේ දක්වා සිදුකළ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වී ඇත. 

වනාන්තර විනාශය සහ තිරසර සංවර්ධනය

තිරසර සංවර්ධනය යනු අනාගත පරම්පරාවන්ට තමන්ගේ අවශ්‍යතා සපුරාලීමේ හැකියාවට හානි නොවන ලෙස වර්තමාන පරම්පරාවේ අවශ්‍යතා සපුරාලන සංවර්ධනය යි.නමුත් බැලූ බැල්මට බොහෝ මිනිසුන් තිරසර සංවර්ධනය පරිසරයට සීමා කළත්, එය සමානව සමාජ සාධාරණත්වය හා ආර්ථික සංවර්ධනය තුළ මුල් බැසගෙන ඇත.

 තිරසර සංවර්‍ධනය යනු පාරිසරික, සමාජයීය හා ආර්ථික යන ත්‍රිත්ව මානයන් සුසංයෝජනය වූ, දිගුකාලීන, තිරසර සමෘද්ධියක් ලබා ගැනීම සඳහාවූ ඒකාබද්ධ ප්‍රවේශයකි.

තිරසර සංවර්ධන ඉලක්ක යනු 2015 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය  විසින් පිහිටුවන ලද ගෝලීය ඉළක්ක 17 කින් යුක්ත සමූහයකි. මෙම ඉලක්ක ලොව පුරා රටවල් මුහුණ දෙන දැවෙන පාරිසරික, සාමාජීය සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම අරමුණු කරගනී. සහශ්‍ර සංවර්ධන ඉලක්කවල සාර්ථකත්වය මත මෙම තිරසර සංවර්ධන ඉලක්ක ගොඩනැගී ඇත.තිරසර සංවර්ධනය සඳහා පුළුල් සහ වඩාත් ඒකාබද්ධ ප්‍රවේශයක් ගැනීම මෙහි අරමුණයි.

 මෙම තිරසර සංවර්ධන ඉලක්ක 2030 වර්ෂය වන විට සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කර ඇති අතර එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රාජ්‍යයන්, සිවිල් සමාජ, ව්‍යාපාර සහ ශාස්ත්‍රීය වැනි අනෙකුත් පාර්ශවකරුවන් සමඟ ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා දායක වීමට දිරිමත් කරනු ලැබේ. සෑම ඉලක්කයකම ප්‍රගතිය තක්සේරු කිරීම සහ වගවීම සහතික කිරීම සඳහා අධීක්ෂණ සහ වාර්තාකරණ රාමු සකස් කර ඇත. 

මූලික වශයෙන්ම මෙම අභිමථාර්ථ හරහා දිළිඳුකම අවසන් කිරීම, පෘථිවිය ආරක්ෂා කිරීම සහ සැමට සමෘද්ධිය සහතික කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වේ. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ලොව පුරා සිටින රාජ්‍යයන්, ව්‍යාපාර සහ පුද්ගලයන්ගේ සාමූහික උත්සාහය සහ සහයෝගීතාවය අවශ්‍ය වේ. 



තිරසර සංවර්ධන අභිමථාර්ථ වල 6 සහ 15 වැනි අභිමථාර්ථ සෘජුවම වන විනාශය සමග සම්බන්ධ වේ.

එහි 6 වන අභිමථාර්ථය තුල දක්වන්නේ පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව පිළිබඳවයි.

සැමට පිරිසිදුලබා ගැනීමට හැකියාව ඇති ජලය අප ජීවත් වීමට ප්‍රිය කරන ලෝකයේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර එය සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රමාණවත් මිරිදිය පෘථිවියේ ඇත. කෙසේ වෙතත්අයහපත් ආර්ථිකය හෝ දුබල යටිතල පහසුකම් හේතුවෙන්ජල සැපයුමසනීපාරක්ෂාව සහ ස්වස්ථතාව ප්‍රමාණවත් නොවීම නිසා ඒ ආශ්‍රිත රෝගවලින් සෑම වසරකම ළමුන් ඇතුළු මිලියන ගණනක් මිය යති.

ජල හිඟයජලයේ ගුණාත්මකභාවය දුර්වල වීම සහ සනීපාරක්ෂාව ප්‍රමාණවත් නොවීම ලොව පුරා දුගී පවුල් වල ආහාර සුරක්ෂිතතාවජීවනෝපාය තෝරාගැනීම සහ අධ්‍යාපන අවස්ථාවන් සඳහා අහිතකර ලෙස බලපායි. වර්තමානයේදීබිලියන 2 කට වැඩි ජනතාවක් මිරිදිය සම්පත් ලබා ගැනීමේ හැකියාව අඩු වීම නිසා අවදානමක් සහිතව ජීවත් වන අතර 2050 වන විට අවම වශයෙන් පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු හෝ බොහෝ කල් පවතින හෝ නැවත නැවතත් ඇතිවන මිරිදිය හිඟයෙන් පීඩාවට පත් රටක ජීවත් වීමට ඉඩ තිබේ. විශේෂයෙන්මනියඟය ලෝකයේ සමහර දරිද්‍රතම රටවල කුසගින්න සහ මන්දපෝෂණය නරක අතට හරවමින් පීඩාවට පත් කරයි. වාසනාවකට මෙන්පානීය ප්‍රභවයන් සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය දශකය තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති අතරලෝක ජනගහනයෙන් 90% කට වඩා වැඩි පිරිසකට දැන් වැඩි දියුණු කළ පානීය ජල ප්‍රභවයන් ලබා ගැනීමේ හැකියාව ඇත.

සනීපාරක්ෂාව සහ පානීය ජලය ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා උප සහරා අප්‍රිකාවමධ්‍යම ආසියාවදකුණු ආසියාවනැගෙනහිර ආසියාව සහ ගිනිකොනදිග ආසියාව තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල් කිහිපයක ප්‍රාදේශීය මට්ටමින් මිරිදිය පරිසර පද්ධති කළමනාකරණය සහ සනීපාරක්ෂක පහසුකම් කළමනාකරණය කිරීම සඳහා ආයෝජන වැඩි කළ යුතුය.

පිරිසිදු ජලය ලබා ගැනීමටනම් ප්‍රශස්ත වන වැස්මක් පැවතීම අත්‍යවශ්‍ය ‌ වේ .නියඟය වැනි ස්වභාවික ව්‍යසන වලින් ‌ තොරව සංවර්ධනය කරා පියනැගිමේ හැකියාව අත්කර ගැනීමට හැකි වන්නේ එවිට යි.

තිරසර සංවර්ධන අභිමථාර්ථ වල 15 වැනි අභිමථාර්ථය තුල දක්වන්නේ ගොඩබිම මත ජීවය පිළිබඳව යි.

පෘථිවි පෘෂ්ඨයෙන් සියයට 30.7 ක් වනාන්තර ආවරණය කරන අතර ආහාර සුරක්ෂිතතාව සහ නවාතැන් සැපයීමට අමතරව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට, ජෛව විවිධත්වය සහ ආදිවාසී ජනතාවගේ නිවාස ආරක්ෂා කිරීමට ඒවා ප්‍රධාන වශයෙන් දායක වේ.වනාන්තර ආරක්ෂා කිරීමෙන් ස්වාභාවික සම්පත් කළමනාකරණය ශක්තිමත් කිරීමට සහ ඉඩම් ඵලදායිතාව ඉහළ නැංවීමට ද අපට හැකි වේ.

 වර්තමානයේදී, සෑම වසරකම හෙක්ටයාර් මිලියන දහතුනක් වනාන්තර අහිමි වෙමින් පවතින අතර, වියළි බිම් අඛණ්ඩව පිරිහීම නිසා හෙක්ටයාර බිලියන 3.6 ක් කාන්තාරකරණය වීමට හේතු වී තිබේ. ඉඩම් වලින් 15% ක් පමණ දැනට ආරක්ෂිතව පැවතුනද, ජෛව විවිධත්වය තවමත් අවදානමට ලක්ව ඇත. මානව ක්‍රියාකාරකම් හා දේශගුණික විපර්යාස හේතුවෙන් වන වනාන්තර විනාශය සහ කාන්තාරකරණය තිරසර සංවර්ධනයට විශාල අභියෝගයක් වන අතර දරිද්‍රතාවයට එරෙහි සටනේදී මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත හා ජීවනෝපායන් කෙරෙහි බලපා ඇත.

වනාන්තර කළමනාකරණය කිරීමට සහ කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමට උත්සාහයන් දරමින් සිටී. සම්පත් සාධාරණ ලෙස භාවිතා කිරීම ප්‍රවර්ධනය කරන අන්තර්ජාතික ගිවිසුම් දෙකක් දැනට ක්‍රියාත්මක වේ. ජෛව විවිධත්වය සඳහා සහාය දැක්වීමට මූල්‍ය ආයෝජන ද සපයනු ලැබේ.

ගොඩබිම තුල ජීවය පවත්වාගෙන යාමේදී වනාන්තර පද්ධතිය ආරක්ෂා කර ගරනීම අත්‍යවශ්‍ය සාධකයක්බව ඒ අනුව තහවුරු වේ.

2030 වර්ෂය වනවිට තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීමට නම් සාමාජීය, ආර්ථික අංශ මෙන්ම පාරිසරික සුරක්ෂිතතාවය ද ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යෑම අනිවාර්ය වේ. ඒ සඳහා වන සම්පත රැක ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි.



✍ රවීෂා රත්නායක 



Comments

Post a Comment

Popular posts from this blog

සංවර්ධනය සහ කාන්තාව

නීතිය හා කාන්තා අයිතිවාසිකම්

ආහාර අර්බුදය