ග්‍රාමීය සංවර්ධනය

 ග්‍රාමීය සංවර්ධනය

ගැමි ජනතාවගේ ජීවන රටාව වඩා උසස් තත්වයෙන් ගත කිරීමට අවශ්‍ය පරිදි ආදායම් තත්වය ඉහළනැංවීම ග්‍රාමීය සංවර්ධනය වේ. ගැමි ජනතාවගේ සංවර්ධනය යනු එදිනෙදා ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා ගැටළුවකින් තොරව සපුරා ගැනීමට අවකාශය සැලසීම බව සැලකිය හැක. ග්‍රාමීය අර්ථ ක්‍රමය තුළ පවතින්නේ පවුල කේන්ද්‍ර කර ගත් පරිභෝජනවාදී ආර්ථික ක්‍රමයකි. කෙමෙන් කෙමෙන් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේදී ග්‍රාමීය ආර්ථිකය තවදුරටත් සරල ආර්ථික ක්‍රියාවලීන් මත රඳා පවතින්නේ නැත. පුද්ගල අවශ්‍යතා සංකීර්ණවත්ම ග්‍රාමීය ආර්ථිකයද සංවර්ධන විය යුත්තකි. එසේ නොමැතිනම් විවිධ සමාජ ගැටළුවලට මුහුණපාන්නට සිදුවේ.මෙම සමාජ ගැටළුවලට විසදුම් ලැබීමට නම් ග්‍රාමීය සංවර්ධනය වීම සිදුවිය යුතුය.



ග්‍රාමීය ජන සමාජවල දරිද්‍රතාවය තුළ ජීවත් වන සුවිශේෂී ජන කණ්ඩායමක සමාජීය, ආර්ථික ජීවිතය වැඩි දියුණු කිරීම සඳහා සකස්ව තිබෙන ක්‍රමෝපායක් ලෙස ග්‍රාමීය සංවර්ධනය හඳුන්වනු ලැබේ.

(ලෝක බැංකුව 1975)

නිෂ්පාදනයේ ඵලදායිතාවය වැඩිදියුණු කිරීම, වර්ධනය වන රැකියා වෘත්තිකයන් සහ ඉඩම් ශ්‍රමය සහ ප්‍රාග්ධනය ක්‍රියාවට නැංවීම යනාදී ක්ෂේත්‍ර පිළිබඳ ග්‍රාමීය සංවර්ධනය තුළින් සාකච්ඡාවට ලක් කෙරේ.

ග්‍රාමිය සංවර්ධනයේ  මූලික ක්ෂේත්‍ර 04 කි.

  1.  භෞතික  සංවර්ධනය
  2.  ආර්ථික සංවර්ධනය
  3.  සමාජ සංවර්ධනය
  4.  සෞඛ්‍ය සංවර්ධනය

භෞතික සංවර්ධනය

භෞතික සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ ග්‍රාමීය ප්‍රදේශයන් තුල භෞතික වශයෙන් සිදුවන සංවර්ධනය යි. සැලසුම් සහගත ක්‍රමෝපායන් තුළින් භෞතික සංවර්ධනය අත්කර ගත හැකිය. භෞතික සංවර්ධනය යටතේ සන්නිවේදනයේ දියුණුව

ප්‍රවාහනය

පරිසර දූෂණය අවම කිරීම

වන සම්පත රැක ගැනීම

වාරිමාර්ග

බලශක්ති උත්පාදනය

අපද්‍රව්‍ය බැහැර කිරීම ආදී විවිධ ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡාවට ලක් කරයි.

ආර්ථික සංවර්ධනය

ආර්ථික සංවර්ධනය යනු ග්‍රාමීය ප්‍රදේශයන් ආශ්‍රිතව ආර්ථික ක්ෂේත්‍රය තුළ සිදුවන සංවර්ධනයයි. ග්‍රාමීය සංවර්ධනය තුළ ආර්ථික සංවර්ධනය ප්‍රධාන කොටස් තුනකි.

 කෘෂිකර්මාන්තය

 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර

 කර්මාන්ත

 ග්‍රාමීය  සංවර්ධනය තුළ කෘෂිකර්මාන්තය ඉතා වැදගත් ස්ථානයක් හිමිකර ගනී .ග්‍රාමීය සංවර්ධනය කුළු ගන්වන්නේ කෘෂිකර්මාන්තය මගිනි. ග්‍රාමීය සංවර්ධනය තුළ දී කෘෂිකර්මාන්තය සම්බන්ධ ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීම ඉතා වැදගත් වේ. එමෙන්ම වගා කිරීමට අවශ්‍ය නව බීජ වර්ග, පළිබෝධ නාශක, ඖෂධ වර්ග, පොහොර වර්ග ආදිය ගොවීන්ට සැපයීම ද ග්‍රාමීය සංවර්ධනය තුළ ඉතා වැදගත් වේ. එමෙන්ම කෘෂිකර්මාන්තය සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීම මගින් ද කෘෂිකර්මාන්තය නගා සිටුවිය හැකිය.

ග්‍රාමීය ප්‍රදේශ තුළ සිදු කරගෙන යන  ව්‍යාපාර ලෙස හකුරු නිෂ්පාදනය , පහන් වැටි ඇඹරීම ආදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පෙන්වා දිය හැකිය.

එමෙන්ම ග්‍රාමීය කර්මාන්ත ලෙස වේවැල් කර්මාන්තය, කුඹල් කර්මාන්තය, පේෂ කර්මාන්තය, කොහු නිෂ්පාදන කර්මාන්තය ආදී විවිධ කර්මාන්ත පවත්වාගෙන යනු ලබයි.

සාමාජීය සංවර්ධනය

සාමාජීය සංවර්ධනය යටතේ අධ්‍යාපනය, සංස්කෘතිය, ක්‍රීඩා, දේශපාලනය ආදී ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම වැදගත් වේ. ග්‍රාමීය ප්‍රදේශ තුළ  ඇති ග්‍රාමීය පාසල් නවීකරණය කර අධ්‍යාපන කටයුතු සිදු කල යුතුය.විද්‍යාගාර, පරිගණකාගාර ආදිය ග්‍රාමීය පාසල් වලට හඳුන්වාදීම මගින් නවීින තාක්ෂණය හා බද්ධ වෙමින් ග්‍රාමීය අධ්‍යාපනය ගොඩනැංවිය හැකිය.

එමෙන්ම ග්‍රාමීය වශයෙන් දේශපාලනය සංවර්ධනය කිරිමද වැදගත් ය.අතීතයේ ගම් සභා වර්තමානයේ ප්‍රාදේශිය සභා ආදී විවිධ අයුරින් ග්‍රාමීය සංවර්ධනය ක්‍රියාත්මක වෙි.

සෞඛ්‍ය සංවර්ධනය

ග්‍රාමීය ප්‍රදේශයන්හි සෞඛ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීම ග්‍රාමීය සංවර්ධනයේ දී ඉතා වැදගත් කාර්යයකි. එහිදී පෝෂණය, සනීපාරක්ෂාව, ප්‍රජා සෞඛ්‍ය ආදී කාර්යයන් නගා සිටුවීම වැදගත් වේ.එමෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල අවම දැනුම් මට්ටමක් ඇති ජනතාවට පෝෂණ සෞඛ්‍ය පිළිබඳ, සනීපාරක්ෂාව පිළිබඳප්‍රජනන සෙඛ්‍ය පිළිබඳ දැනුවත්භාවයක් ලබා දීම ද  ග්‍රාමීය සෞඛ්‍ය නගා සිටුවීමේදී සිදු කල යුතුය.

ඒ අනුව ග්‍රාමීය සංවර්ධනය ඉහත දැක්වූ ක්ෂේත්‍රයන් යටතේ ක්‍රියාත්මක වීද සිදු වේ.මෙහිදී ග්‍රාමීය ජනතාවගේ විවිධ අංශ පිළිබඳ අවධානය යොමු ඔවුනොවුන් විසින්ම උදව් උපකාර කර ගනිමින් සිදුවන සහභාගීත්ව සංවර්ධනයක් තුලින් ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලිය සාර්ථකව සිදු කිරීමේ හැකියාව පවතී.



✍ රවීෂා රත්නායක 



Comments

Post a Comment

Popular posts from this blog

සංවර්ධනය සහ කාන්තාව

නීතිය හා කාන්තා අයිතිවාසිකම්

ආහාර අර්බුදය