ආහාර අර්බුදය

 

ආහාර අර්බුදය

පසුබිම

ලෝක ජනගහනය අද වන විට මුහුණ දී ඇති ප්‍රධානතම ගැටළුව  ආහාර අර්බුදය යි.මිහිමත වෙසෙන සියලු ප්‍රජාවගේ ප්‍රධානතම අවශ්‍යතාවය වන “ආහාර” ලබා ගැනීමට නොහැකිව පැවතීම මිනිස් ප්‍රජාවට ඇති ප්‍රධානතම ගැටළුව කි.

සමකාලීන ගෝලීය අර්බුද යන මාතෘකාව යටතේ කතාබහට ලක් වන ප්‍රධාන ගෝලීය අර්බුදයක් වන්නේ සාගින්න හා ආහාර හිඟය යි.සාගින්න සහ ආහාර හිඟය ගෝලීය අර්බුදයක් බවට පත් වූයේ ක්‍රමිකව ය.ඊට බලපෑ මූලික හේතු කිහිපයකි.එනම් වර්තමාන මානුශ සමාජය තුල ආහාර හිමිකම එලෙසින්ම භුක්ති විඳින අයද ,සමහර තැන් වලදී එම හිමිකම අවශ්‍ය ප්‍රමාණයට වඩා කිහිප ගුණයකින්ම හිමි කරගන්නා අයද ,බොහෝ තැන් වලදී ඒ හිමිකම අහිමි වූ අයද සිටීම යතාර්ථය බවට පත්ව තිබීම ඊට හේතුවයි.



ආහාර යනු ජීවිතය ගෙන යාමේදී දිනෙන් දින ගෙවී යන පටක වර්ධනය සඳහාත්, ශාරීරික කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහාත් ශරීරයට ලබා ගන්නා ශක්තිය සහ අමුද්‍රව්‍ය යි.සොබාදහම තුල උපදින සෑම ජීවියෙකුටම එසේ ආහාර ලබා ගැනීම සඳහා වූ හිමිකමක් ද සොබාදහම විසින්ම උරුමකර තිබේ.ආහාර දාම තුල ජීවීන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වයි.

1.     ස්වයංපෝෂී

2.     සම විෂමපෝෂී

ආහාර අවශ්‍යතා පිළිබඳ සැලකීමේදී උණුසුම් දේශගුණයක නිස්කලංකව වාසය කරන සාමාන්‍ය වැඩුනු සිරුරකින් යුතු වැඩිහිටියෙකුට නීරෝගීව සිටීම සඳහා දිනකට කැලරි ග්‍රෑම් 2000 කට වඩා අවශ්‍ය නොවේ.වැඩුනු මස් ගොබ සහිත සීතල දේශගුණයක වාසය කරන ව්‍යායාමයන්හි නිරත වන පුද්ගලයෙකුට එය ප්‍රමාණවත් නැත.එවැනි කෙනෙකුට උණුසුම්ව හා ක්‍රියාශීලිව සිටීමට දිනකට කැලරි ග්‍රෑම් 6000-7000 අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ.එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇස්තමේන්තු කරන ආකාරයට ලෝකයේ සාමාන්‍ය අවම කැලරි පරිභෝජනය දිනකට කැලරි ග්‍රෑම් 2500 කි.

මෙම ආහාර අවශ්‍යතාවයෙන් 90% ට වඩා දිගුකාලීනව ආහාරයට ගන්නා ජනයා අඩු පෝෂණයෙන් යුතු අය ලෙස සැලකේ.බඩගින්නේ මිය යන්නේ නැති නමුත් ක්‍රියාශීලි හා ඵලදායි ජීවිතයක් සඳහා ප්‍රමාණවත් ශක්තියක් ඔවුන්ට නැත.අවම දෛනික කැලරි අවශ්‍යතාවයෙන් 80% නට වඩා අඩුවෙන් ආහාරයට ගන්නා අය දරුණු ලෙස අඩු පෝෂණයෙන් පෙලෙන්නන් වශයෙන් හඳුනාගැනේ.

ලෝකයේ ලබාගත හැකි ඒක පුද්ගල ආහාර ප්‍රමාණය පසුගිය වසර  30 තුලදී සැලකිය යුතු ලෙස වැඩි වී ඇත.ඒවා එක සමාන ලෙසින් ලෝකය පුරා බෙදාහැරීම සිදු කලේ නම් ලොව ඇති ධාන්‍ය සැපයුම පමණක් සෑම කෙනෙකුටම දිනකට කැලරි ග්‍රෑම් 2700 ක් පමණ ලබා දිය හැකිව තිබුනි.නමුත් සෑම වසරකදීම ලොව පුරා දරුවන් මිලියන 13ක් මිය යන්නේ හොඳ ආහාර වේලක්,පිරිසිදු ජලය,මූලික බෙහෙත් හා වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කල හැකි ලෙඩ රෝග වලිනි.

2015 සිට ලෝක සාගින්න නැවතත් සෙමෙන් ඉහළ යමින් තිබේ.2018 දී ලෝකයේ මිලලියන 821 ක ජනතාවක් කුසගින්නෙන් පීඩා විඳින අතර මේ තත්වය දිගින් දිගටම වෙනස් නොවී පවතීනම් 2030 වන විට ශූන්‍ය සාගින්න ඉලක්කය සපුරා ගැනීමේ දැවැන්ත අභියෝගය අත් කර ගත නොහැක.උග්‍ර ආහාර අර්බුදයට මුහුණදෙන පුද්ගලයින් තිදෙනෙකු ගතහොත් ඉන් දෙදෙනෙක්ම අප්‍රිකානුවන් වේ.ඒ අතරම ලෝකයේ සෑම කලාපයකම අධික බර හා ස්ථුලතාවය අඛණ්ඩව ඉහල යන බව 2019 ලොක ආහාර සුරක්ෂිතතාව හා පෝෂණ තත්වය පිළිබඳ වාර්තාවන්හි සඳහන් වීමත් සමග මේ අර්බුදය පිළිබඳ කෙරෙන සංවාදයන් නව දිශානතියකට යොමු කරවා ඇත.වර්තමානයේ විශේෂඥයන් පෙන්වාදෙන පරිදි ලෝකය තුල උද්ගතව ඇත්තේ ආහාර නිෂ්පාදනයට වඩා ආහාර බෙදීයාම පිළිබඳ  ගැටළුවකි.ලොව එක් ප්‍රදේශයකට පරිභෝජන සීමාව ඉක්මවා ආහාර හිමි වන අතර තවත් ප්‍රදේශයක ජනයා සාගින්නේ මිය යයි.

වර්තමානයේ බිලියන 7.9 ක් වන ලෝක ජනගහනය 2050 වන විට බිලියන 9.7 ක් වන වන බවත් එය වර්ෂ 2100 වන විට බිලියන 11 වන බවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකතනය කොට ඇත.ඒ අනුව සමස්ත මිනිස් ප්‍රජාවටම අවශ්‍ය ආහාර නිෂ්පාදනය ප්‍රබල ගැටළුවක් බවට පත්ව ඇත.එක්සත් ජාතින්ගේ ලෝක ආහාර වැඩසටහනේ සංඛ්‍යා ලේඛන වලට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 800 කට වැඩි ප්‍රමාණයකට ප්‍රමාණවත් තරම් ආහාර නොමැති වීම හේතුවෙන් සාගතයකට ගොදුරු වී ඇත.බොහෝ විට මේ ගැටළුවට මුහුණ දී ඇත්තේ අප්‍රිකා හා ආසියා මහද්වීප වල දුගී ජනතාව යි.මීට අමතරව තවත් බොහෝ රටවලට ආහාර නිෂ්පාදනය කිරීම ප්‍රබල ගැටළුවක් බවට පත්ව ඇත.ලෝක ජනතාවගේ වසරක ආහාර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් බිලියන 3.7 කි.සංඛ්‍යා ලේඛන වලට අනුව 2019 වර්ෂයේ ලෝක ආහාර නිෂ්පාදනය මෙට්‍රික් ටොන් බිලියන 04 කි.ඒ අනුව ජනගහනයට ප්‍රමාණවත් තරම් ආහාර නිෂ්පාදනය  කොට තිබුනද මුළු ආහාර නිෂ්පාදනයෙන් 17% ක් අපතේ යන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.ආහාර පිළිබඳ ලැබී ඇති දත්ත වලට අනුව දියුණු රටවල සුපිරි වෙළඳසැල් වල රාක්ක තුල හා ගබඩා වල විනාශයට පත් වන බව  සඳහන් ය.එසේම තුන්වන ලෝකයේ රට වලආහාර විනාශ වීම ග්‍රාමීය ගොවිපොලවල් තුල අවිධිමත් ප්‍රවාහනය හා ආර්ථික මධ්‍යස්ථාන වල නිසි ක්‍රමවේද නොමැති වීම මගින් විශාල ආහාර ප්‍රමාණයක් අපතේ යයි.මීට අමතරව කාලගුණික දේශගුණික සාධක සහ වන සතුන්ගෙන් සිදු වන වගා හානි තුලින් ද ආහාර විනාශ වීම සිදු වේ.සංඛ්‍යා ලේඛන වලට අනුව වර්තමානයේ ලෝක ජනගහනයට අවශ්‍ය තරම් ආහාර නිෂ්පාදනය සිදු කලද ආහාර ප්‍රයොජනයට නොගෙනම අපතේ යාම වැලැක්වීමට නිසි ක්‍රමවේද ගත යුතු අතර ඉදිරියේදී වැඩි වන ලෝක ජනගහනයට සාපේක්ෂව ආහාර නිෂ්පාදනය වේගවත් කිරිම සමස්ත ලෝකයාගේ යුතුකමකි.

ලෝකය පුරා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ඉහල යාමද ආහාර අර්බුදයට එක් හේතුවකි.ලෝකය පුරා අත්‍යවශ්‍ය ආහාර වල මිල 1990 දශකයේ දෙගුණයකින් ද 2000 දශකයේ තුන් ගුණයකින් ද ඉහළ ගියහ.මෙහිදි ජනතාව කුසගින්නේ පෙලීමට හේතුව වූයේ ආහාර මිලදී ගැනීමට ඇති නොහැකියාවයි.ගෝලීය ආහාර අර්බුදය හමුවේ ඇති අනෙක් ප්‍රබලතම අනිසි ප්‍රතිපලය වන්නේ ආහාර මිල අනිසි ලෙස ඉහළ යාමයි.

පෘථිවියේ දැනට සිටින සියළුම මිනිසුන්ට අවශ්‍ය ප්‍රමාණයට ආහාර නිෂ්පාදනය කිරීමේ හැකියාව පෘථිවියේ පවති.ඒ සඳහා අවශ්‍ය හිරු එළිය ,පස ,ජලය ආදී සියළු සම්පත් මේ වන විට පෘථිවිය සතුව පවති.එසේ තිබියදීත් ලෝකයේ සෑම හත්දෙකුගෙන්ම එක් අයෙක් බඩගින්නේ සිටියි.



ඇමෙරිකාවේ ජනගහනයෙන් ගොවියන් සිටින්නේ සුළු ප්‍රමාණයකි.නමුත් ඇමෙරිකාවේ සෑම තිදෙනෙකුගෙන්ම එක් අයෙකු අධි පෝෂණයෙන් පෙළේ.වර්තමාන ලෝකයේ ආහාර අර්බුදය ඇති වීමට බලපෑ මූලික හේතු කිහිපයකි.

1.     ආහාර වගා කිරීමේදී ඇති වන ගැටළු

2.     ආහාර බෙදී යාමේදී ඇති වන ගැටළු

3.     වගා කටයුතු සඳහා යොදාගන්නා තාක්ෂණයේ ඇති ගැටළු

ඉහත විස්තර කොට ඇති පරිදි ආහාර අර්බුදය ඇති වන්නේ මෙම ගැටළු 03 මූලික හේතු කොටගෙනය.

වර්තමාන ලෝකයේ ප්‍රධාන ගෝලිය අර්බුදයක් බවට පත්ව ඇති “ආහාර අර්බුදය” ඇති වීමට බලපා ඇති මූලික හේතු කිහිපයක් පහත පරිදි හඳුනාගත හැක.

·       වැඩිවන ජනගහනය

·       දේශගුණික විපර්යාස

·       වේගවත් නාගරීකරණය

·       ආහාර රටාවන්හි වෙනස් වීම

·       ආහාර මිල

·       සීග්‍රයෙන් භාවිතා වන ජෛව ඉන්ධන

·       බහුජාතික සමාගම් වල ක්‍රියාකාරීත්වය

·       වගාවට සුදුසු භූමිය සීමා වීම

·       ලොව බලවත් රාජ්‍යයන්හි කූට උපක්‍රම

·       ආහාර බෙදී යාමේදී ඇති වන විශමතා

ව    ශ්‍රී ලංකාවේ තත්වය

වර්තමාන ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ විමසා බැලුවහොත් මේ වන විට අර්ධ වශයෙන් ආහාර අර්බුදයකට මුහුණපා සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කල හැක.BBC හා CNN වැනි ප්‍රසිද්ධ ප්‍රවෘත්ති නාලිකා විසින් පසුගිය කාලයේදී ශ්‍රී ලංකාව Covid අර්බුදය හා විනිමය අර්බුදය හේතුවෙන් අර්ධ වශයෙන් ආහාර හිඟයකට මුහුණ දෙමින් සිටින රටක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.වර්තමානය වන විට ශ්‍රී ලංකාවට උග්‍ර ආහාර අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව මෙම ආයතන විසින් පවසයි.මේ වන විට ශ්‍රී ලංකාව උග්‍ර ඩොලර් හිඟයකට මුහුණ දෙමින් සිටින නිසා ආනයන කටයුතු ද සීමා කර ඇත.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විවිධ මාතෘකා යටතේ කතා කළ හැකිය. ඉන් මූලිකම මාතෘකා ලෙස ගත හැකි වන්නේ දේශපාලන අස්ථාවරත්වය,උද්ධමනය ඉහළ යාම හේතුවෙන් ඇති වූආර්ථික අවපාතය සහ ආහාර අර්බුදයයි. මෙයින් පළමුව ශ්‍රී ලංකාවට බලපෑ කාරණාව වන්නේ දේශපාලන අස්ථාවරත්වයයි. ආර්ථික අර්බුදය අනාගතයේ සලකුණක් ලෙස පෙනෙන්නට තිබුණද ප්‍රායෝගිකව මහජනතාව මුහුණ දුන් සිදුවීම් මාලාව ගොනු වූයේ දේශපාලන අස්ථාවරත්වය හරහා ය. මේ හා සියලු සිදුවීම් තුළින් ඉන්පසු පැමිණි අර්බුදය වූයේ උද්ධමනය හරහා ඇති වූ ආර්ථික ගැටලු සමුදායයි. මෙහි ප්‍රතිඵල ලෙස එදිනෙදා පරිභෝජනයට ගනු ලබන ගෑස් හිඟවීමත් ,ඉන්ධන හිඟවීමත් දැක්විය හැකිය. මේ කරුණු නිසාවෙන් මේ තුළින් ඇති වූ පෝලිං ක්‍රමය පසුගිය කාලය පුරා අපට දක්නට හැකි විය. මේ හා සමඟම පැමිණියේ භාණ්ඩ හිඟවීමත් ඒ තුළින් භාණ්ඩ හා සේවාවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත්ය. එහෙත් මේ සියලු දෑ සමඟින් දැන් අප සියලු දෙනාම මුහුණ දී සිටින්නේ ආහාර අර්බුදයකට ය.

විසඳුම්

ලෝක  ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහ‌නේ භෝග සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු‌ මෙහෙයුමේ ඒකාබද්ධ වාර්තාවට අනුව එහි ප්‍රධාන නිර්දේශ වන්නේ ගැබිනි සහ මව්කිරි දෙන කාන්තාවන් කාන්තා මූලික පවුල් සහ ආබාධිත පුද්ගලයින් ඇතුළු අවධානමට ලක්විය හැකි සහ ආන්තික ප්‍රජාවන්ට ක්ෂණික ආහාර හෝ මුදල් ආධාර සැපයිය යුතු බවටයි.

කුඩා පරිමාණ ‌ ගොවීන් කෙරෙහි අවධානය යොමු කරමින් ‌ පොහොර ඇතුළු කෘෂි යෙදවුම් කඩිනමින් ලබා දීමටද වාර්තාව නිර්දේශ කරයි.

ආහාර බෝග ඵලදායි ලෙස වගා කිරීම අස්වනු ‌ නෙලීම,ප්‍රවාහනය සහ සැකසීම සහතික කිරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් සපයන අතරම ඔවුන්ගේ ‌ පෝෂණ තත්වය ඉහළ නැංවීම සඳහා ගෙවතු සහ ගෙවතු වගාව ස්ථාපිත කිරීමට සහය වීමේ අවශ්‍යතාවය ද වාර්තාව පෙන්වයි.

ඊට අමතරව ලෝක මට්ටමින් ආහාර අර්බුදය විසඳීමට, 

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම

ආහාර බෙදී යාම තුල පවත්නා විෂමතා අවම කිරීම

වැඩි ඵලදායිතාවක් සහිත බීජ වර්ග සහ බෝග හඳුන්වා දීම

නව තාක්ෂණය භාවිතා කිරීම

ජාන තාක්ෂණය භාවිතය              වැනි ක්‍රියාමාර්ග අනුගමනය කල හැක.


Comments

Post a Comment

Popular posts from this blog

සංවර්ධනය සහ කාන්තාව

නීතිය හා කාන්තා අයිතිවාසිකම්

ග්‍රාමීය සංවර්ධනය